තොග තැපෑල
තොග වශයෙන් ලිපි යැවීම සඳහා
- මධ්‍යම තැපැල් හුවමාරුවේ දී තොග වශයෙන් ලැබෙන ලිපි සඳහා ලබා ගත හැකි සේවයකි.
- මෙම තොග තැපැල් සේවය අදාළ ආයතනවලින් ලිපි එකතු කිරීමේ සේවයක් ද ක්‍රියාත්මක කරයි. මේ සඳහා කොළඹ 1 සිට 15 යන කොට්ඨාස ඇතුළත ලිපි එකතු කිරීම සඳහා රු. 10,000/- ක් වූ අමතර මාසික ගාස්තුවක් ද, කොළඹින් බැහැර ප්‍රදේශ සඳහා රු. 15,000/- ක් වූ අමතර මාසික ගාස්තුවක් ද අය කරනු ලැබේ.
- ලිපි ප්‍රමාණය ගණනය කිරීමෙන් පසුව ගණනය වන මුදල ඒ ඒ මාසය අවසානයේ චෙක්පත් හෝ මුදල් මගින් එකතු කරනු ලැබේ.
ව්‍යාපාරික තොග තැපෑල
- ව්‍යාපාරික ආයතන මගින් ලිපි තැපැල් කිරීම සඳහා පහසුකම් සපයන සේවාවකි. මෙම සේවාව මධ්‍යම තැපැල් කාර්යාලයේ ක්‍රියාත්මක වේ.
- මේ සඳහා තැපැල් මූලස්ථානයේ ලියාපදිංචි විය යුතු ය. එහිදී, තැපැල් කරන ලිපි ද්‍රව්‍ය ගාස්තු මුදලේ වටිනාකමට අනුරූප වන මුදලක් තැන්පතුවක් ලෙස තැබිය යුතු ය.
- BM අංකය යටතේ බලයලත් අංකයක් නිකුත් කරනු ලබන අතර, එය අදාළ ලිපි ද්‍රව්‍යයන්හි මුද්‍රණය කළ යුතු ය.
- මේ සඳහා මුද්දර භාවිතා නොකෙරේ. ලිපි තැපැල් කිරීමේ දී ඒවා මධ්‍යම තැපැල් හුවමාරුවේ ව්‍යාපාරික තොග තැපැල් අංශය වෙත බාරදිය යුතු ය.
M තොග තැපෑල
ආයතනයක් මගින් තොග වශයෙන් ලිපි ද්‍රව්‍ය බෙදා හැරීම සඳහා විශේෂ පහසුකම් සැලසීම පිණිස සැලසුම් කර ඇති සේවයකි.
මෙම සේවය සලසා දෙනුයේ;
- සාමාන්‍ය ලිපි,
- ලියාපදිංචි ලිපි,
- තැපැල් පත් සහ
- විවෘත මුද්‍රිත පැකට්ටු සඳහා ය.
විදේශ භාණ්ඩ සඳහා මෙම සේවය ලබා ගත නොහැක.
- යම් ආයතනයක් මෙම සේවාව ලබා ගැනීමට අපේක්ෂා කරන්නේ නම්, එම ආයතනයේ ඉල්ලීම සහ දෙපාර්තමේන්තු අයදුම් පත්‍රය සත්‍ය සහ නිවැරදි තොරතුරු සඳහන් කරමින් සම්පුර්ණ කර තැපැල් මූලස්ථානය වෙත ඉදිරිපත් කළ යුතු ය.
- මෙම කාර්යය සඳහා තැපැල් මූලස්ථානය විසින් ‘තොග පහසුකම් බලපත්‍ර අංකය’ නමින් අංකයක් නිකුත් කරනු ලබනවා ඇත.
- මූලස්ථානයේ අලෙවි සහ සම්බන්ධීකරණ අංශය විසින් බලපත්‍ර නිකුත් කරනු ලබන්නේ, කොළඹ නගර සීමාව තුළ පිහිටි තැපැල් කාර්යාල වෙත බෙදාහරින ලිපි සඳහා පමණි.
- අනෙකුත් කාර්යාල සඳහා, තැපැල්පතිවරයාගේ අනුමැතියට යටත්ව පළාත් නියෝජ්‍ය තැපැල්පතිවරයාගේ නිර්දේශය මත, බලපත්‍ර නිකුත් කරනු ලැබේ.
- ලිපි ද්‍රව්‍ය තැපැල් කළ යුත්තේ, අයදුම්කරු විසින් තෝරා ගන්නා ලද තැපැල් කාර්යාලයෙන් පමණි.
- මෙම පහසුකම ලබා ගන්නේ පසුගෙවුම් පදනමක් මත නම්, අයදුම්කරු විසින් මාසිකව තැපැල් කාර්යාලය වෙත යැවීමට අපේක්ෂා කරන ලිපි ප්‍රමාණයට සමාන වටිනාකම අනුව වූ මුදලක්, මුදල් වශයෙන් හෝ බැංකු ආරක්ෂක තැන්පතුවක් වශයෙන් තැපැල්පතිවරයාගේ නමින් තැන්පත් කළ යුතු ය. කොළඹ 1 සිට 15 යන කලාප තුළ ඒ සඳහා වූ අවම මුදල රු. 25,000/- ක් වන අතර පිට පළාත් සඳහා අවම මුදල රු. 10,000/- ක් වේ.
- පළමු වරට මෙම පහසුකම ලබා ගැනීම සඳහා ලියාපදිංචි ගාස්තුව රු. 5,000/- ක් ගෙවිය යුතු ය. මෙම සේවය වාර්ෂිකව පවත්වාගෙන යාමට රු. 3,000/-ක් එක් වසරක් සඳහා ගෙවිය යුතු ය.
- වාර්ෂික ලියාපදිංචිය අලුත් කිරීම තැපල් මූලස්ථානය හරහා පමණක් සිදු කෙරේ. අලුත් කිරීම සඳහා වන අයදුම්පත දෙසැම්බර් මස 20 වන දිනට පෙර ඉදිරිපත් කළ යුතු ය. තොග තැපැල් පහසුකම් සඳහා වන ඉල්ලුම්පත්‍රය සමඟ තැන්පතු ගාස්තු ගෙවූ කුවිතාන්සියක් හෝ බැංකු ආරක්ෂක පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව බලපත්‍ර අංකය නිකුත් කරනු ලැබේ. ප්‍රධාන කාර්යාලයේ දී, M අකුර සමඟ බලපත්‍ර අංකයක් නිකුත් කෙරෙන අතර ප්‍රාදේශීය කාර්යාලවල දී, M අකුරට අමතරව M අකුර සහ තැපැල් කාර්යාලයේ කේත අංකය ඇතුළත් බලපත්‍ර අංකයක් නිකුත් කෙරේ.

- බලපත්‍ර අංකය, එය ලබන්නාගේ ලිපිනයට ඉහළින් මුද්‍රණය කර හෝ රබර් මුද්‍රා තබා තිබිය යුතු ය.
- ලියාපදිංචි සහ සාමාන්‍ය ලිපි වෙන වෙනම සකස් කළ යුතු ය.
- ලිපි කවරයේ වම්පස පහළින් ආයතනයේ ලිපිනය මුද්‍රණය කර හෝ ලියා සඳහන් කර තිබිය යුතු ය.
- බලපත්රයෙහි සඳහන් කාර්යාලයේ කවුන්ටරය වෙත ලිපි බාරදිය යුතු ය. එසේම, මෙම ලිපි කොළඹ කොට්ඨාසය සහ තදාසන්න කොට්ඨාසය ලෙස වෙන වෙනම බෙදාහැරිය යුතු ය.
- කාර්යාලයට ලිපි බාරදීමේ දී ආයතනයට නිකුත් කරන ලද බලය පැවරීමේ ලිපිය තැපැල් ස්ථානාධිපතිවරයා වෙත ඉදිරිපත් කළ යුතු ය.
- ලිපි බාරගැනීමේ දී, ලිපි ප්‍රමාණය සඳහා වූ ලිපිවල බර අනුව තැපැල් ගාස්තු සඳහන් වාර්තාවක් පිටපත් දෙකකින් යුතුව ඉදිරිපත් කළ යුතු ය. ඒවා පරීක්ෂා කර, දින මුද්‍රා තබා එහි කාබන් පිටපතක් යවන්නා හට ලබා දේ.
- ලිපි වාහක රථය විසින් ලියාපදිංචි ලිපි බාරගනු ලබන්නේ වරකට ලිපි දහයකට වඩා තිබේ නම් පමණි. ලිපි යවන්නාගේ සහ ලබන්නාගේ ලිපිනය එහි ලැයිස්තුගත කර පිටපත් තුනකින් ලබා දිය යුතු ය.
- පසුගෙවුම් පදනම යටතේ ලබා ගන්නා පහසුකම් සඳහා අයවිය යුතු මුදල අදාළ මාසය තුළ ගණනය කළ යුතු අතර එම මුදල ඊළඟ මාසයේ 5 වන දිනට පෙර තැපැල් කාර්යාලයට ගෙවිය යුතු ය. ගෙවිය යුතු මුදල මාසය අවසානයේ තැපැල් ස්ථානාධිපතිවරයා විසින් ලිඛිතව දැනුම් දෙනු ලබනවා ඇත.
- කෙසේ වෙතත්, එම මුදල, තැන්පතු මුදල හෝ බැංකු ඇපවල වටිනාකම ඉක්මවන අවස්ථාවක දී, තැපැල් ස්ථානාධිපතිවරයා විසින් සම්පූර්ණ මුදල සඳහා ඉන්වොයිසියක් නිකුත් කර දින 7 ක් ඇතුළත එම මුදල අයකර ගනු ඇත. කිසිම අවස්ථාවක අදාළතැන්පතු මුදල ඉක්මවූ ලිපි ප්‍රමාණයක් යැවීම නොකළ යුතු ය.
- පසුගෙවුම් පදනම මත සේවය ලබා ඇති ආයතනවල මාසික ස්ථාවර තැන්පතු මුදල ප්‍රමාණවත් නොවන බව තැපැල් ස්ථානාධිපතිවරයා දැනුම් දෙන්නේ නම්, සේවා ප්‍රතිලාභියා තමන්ට අදාළ තැන්පතු මුදල ඉහළ නැංවීම සඳහා කටයුතු කිරීමට බැඳී සිටී.
- මුදල් හෝ චෙක්පත් මගින් ගෙවීම් කළ හැක. මුදල් ලැබීමෙන් පසු පොදු 172 දරන රිසිට්පතක් නිකුත් කරනු ලැබේ. චෙක්පත් තැපැල්පතිවරයාට ගෙවිය යුතු ආකාරයට ලිවිය යුතු ය.
