නිදහස් තැපැල් පහසුකම්
නිදහස් තැපැල් පහසුකම්
- පෙර පැවති ‘රාජ්‍ය සේවය පිණිසයි’ යනුවෙන් හැඳින්වූ තැපැල් ගාස්තු නොමැතිව රාජකාරි කටයුතු සඳහා තැපැල් භාණ්ඩ යැවීමේ සාමාන්‍ය ක්‍රමය වෙනුවට වර්තමාන නිදහස් තැපැල් පහසුකම් සේවය ක්‍රියාත්මක වේ.
- නිදහස් තැපැල් පහසුකම යටතේ, තැපැල් ද්‍රව්‍ය මුද්දර ඇලවීමකින් තොරව අදාළ තැපැල් කාර්යාලය වෙත රාජකාරි කටයුතු වෙනුවෙන් පමණක් යැවීම සඳහා. රජය විසින් ඇතැම් රාජ්‍ය ආයතනවලට වාර්ෂිකව ප්‍රතිපාදන වෙන්කර දෙනු ලබන්නේ ය.
- නිදහස් තැපැල් පහසුකම ලද රාජ්‍ය ආයතනය, තම තැපැල් භාණ්ඩ තැපැල් කරවා ගැනීමට අදහස් කරන තැපැල් කාර්යාලය නිශ්චිතව සඳහන් කරමින් තැපැල් මූලස්ථානයේ නිදහස් තැපැල් පහසුකම් අංශයට ඒ බව ලිඛිතව දැනුම් දිය යුතු ය. ඒ සම්බන්ධයෙන් වෙන් කළ මුදල් ප්රතිපාදනය සඳහන් බලයලත් ලියවිල්ලක් ද ඉදිරිපත් කළ යුතු වන්නේ ය.
- මෙම නිදහස් තැපැල් පහසුකම සඳහා සෑම රාජ්‍ය ආයතනයකටම අනන්‍යතා අංකයක් නිකුත් කෙරේ. මේ බව අදාළ ආයතනයට මෙන්ම ආයතනය විසින් භාණ්ඩ තැපැල් කරවා ගැනීමට අදහස් කරන තැපැල් කාර්යාලයේ තැපැල් ස්ථානාධිපතිවරයාට ද දැනුම් දෙනු ලබනවා ඇත.
නිදසුන් : වැල්ලවත්ත තැපැල් කාර්යාලයෙන් සේවය ලබා ගන්නා විට,
නිදහස් තැපැල් පහසුකම් අංකය : WO/23
නිදහස් තැපැල් පහසුකම යටතේ තැපෑලට යවන සියලුම අයිතම පහත අවශ්‍යතා සපුරාලිය යුතු ය.
- සියලුම තැපැල් භාණ්ඩ අදාළ තැපැල් කාර්යාලයේ කවුන්ටරය වෙත භාර දිය යුතු ය.
- ලබා දී ඇති අංකය, එකී අයිතමවල මුහුණත මත රබර් මුද්‍රාවක් මගින් ලියා හෝ මුද්‍රණය කර තිබිය යුතු ය.
- සෑම භාණ්ඩයකටම අදාළ ආයතනයේ බලයලත් තැනැත්තෙකුගේ නිල මුද්‍රාව තිබිය යුතු ය.
- භාණ්ඩවල ප්‍රමාණය සහ එක් එක් භාණ්ඩයේ බරට අනුරූප වන තැපැල් ගාස්තු සහ එම ගාස්තුවල එකතුව සඳහන් අනුපිටපත් සහිත ලේඛනයක් ඒ භාණ්ඩ සමඟ ඉදිරිපත් කළ යුතු ය.
- අදාළ නිදහස් තැපැල් පහසුකම් අංකය, නිල මුද්‍රාව සහ බලයලත් තැනැත්තාගේ අත්සන ලේඛනයෙහි තිබිය යුතු ය.
- ලියාපදිංචි අයිතම සඳහා, ඉහත ලේඛනය අදාළ ලිපිනයන් සමඟ පිටපත් තුනක් සහිතව සකස් කළ යුතු ය.
- මෙම භාණ්ඩ කවුන්ටරය වෙත ඉදිරිපත් කිරීමේ දී, ඒවායේ බරට සරිලන තැපැල් ගාස්තුව සටහන් කර ඇත්දැයි පරීක්ෂා කිරීමටත්, ලේඛනයේ පිටපත් දෙකෙහිම අත්සන් කර දිනය මුද්‍රා තබා දෙවන පිටපත සේවාලාභියාට ලබා දීමටත් අදාළ නිලධාරියා කටයුතු කළ යුතු ය.
- ප්‍රතිපාදන සීමාව අවසන් වීමට ආසන්න වන විට, තැපැල් ස්ථානාධිපතිවරයා ඒ බව අදාළ ආයතනයට දැනුම් දෙනු ඇත. කිසිවිටෙකත්, අදාළ ප්‍රතිපාදන සීමාව ඉක්මවන තැපැල් ලිපි බාරගනු නොලැබේ.
- එක් තැපැල් කාර්යාලයක් හරහා සලසා ගනු ලබන නිදහස් තැපැල් පහසුකම වෙනත් තැපැල් කාර්යාලයකට මාරු කළ හැක. මේ සඳහා, අදාළ ආයතනයෙන් කරනු ලබන ලිඛිත ඉල්ලීමක් මුල් කාර්යාලයේ තැපැල් ස්ථානාධිපතිවරයා හරහා තැපැල් මූලස්ථානය වෙත යොමු කළ යුතු ය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොමිලේ තැපැල් පහසුකම්
- පාර්ලිමේන්තු සහ පළාත් සභා මන්ත්‍රීවරුන් සඳහා ද නොමිලේ තැපැල් පහසුකම ලබා ගත හැකි නමුත් මේ සඳහා අනුගමනය කරනු ලබන්නේ එකිනෙකට වෙනස් ක්‍රියා පටිපාටියකි.
- මෙහිදී විශේෂ මුද්දරයක් නිකුත් කරනු ලබන අතර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ වාර්ෂික දීමනාවට සමාන වටිනාකමකින් යුත් මුද්දර ප්‍රමාණයක් පාර්ලිමේන්තුවේ තැපැල් කාර්යාලයෙන් ලබා ගත හැක.
- මෙම මුද්දර භාවිතයෙන් ලිපි තැපැල් කළ හැකි අතර, එම ලිපිවල මුහුණත මත මන්ත්‍රීවරයාගේ නිල මුද්‍රාව ඇලවිය යුතු ය.
- දැනට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සඳහා වාර්ෂික දීමනා සීමාව රු. 350,000/- ක් වන අතර පළාත් සභා මන්ත්‍රීවරයෙකු සඳහා වාර්ෂික දීමනා සීමාව රු. 48,000/- ක් වේ.
- මන්ත්‍රීවරුන් භුක්ති විඳින මෙම වරප්‍රසාදයට විවිධ සීමාවන් පනවා තිබේ. එවැනි සීමා කිරීම් පිළිබඳව චක්‍රලේඛ මගින් කලින් කල දැනුම් දෙනු ලැබේ. එවැනි ඇතැම් සීමා කිරීම් මෙසේ ය;
නිදසුන් : මන්ත්‍රීවරයාගේ ධූර කාලය අවසන් වීමෙන් පසු පහසුකම අවසන් වේ.
මැතිවරණයක් ප්‍රකාශයට පත්කළ විට එම පහසුකම නතර වේ.
